◄ රාවණාගේ ජල උයන් ආලකමන්දාව ඉතිහාසගත කරයි ►



ප්‍රවාහන කටයුතු වලට අමතරව ජල හිඟය හා බීමට සුදුසු ජලය නොපැවති ප්‍රදේශවලට ජලය ලබාදීම උදෙසා ක්‍රියාත්මක වූ විශේෂ උමං පද්ධතියක් එකල පැවතියේය. මෙම උමං පද්ධතිය එකල පැවති වරායන් වූ කුදිරමලේ, යාල, කේවෙන (යාපනය) ආශ්‍රිතව ව්‍යාප්තව පැවතියේය.

කුදිරමලේ පිහිටි ගොන්ගේ විල තුළ වර්තමානයේදීද පිරිසිදු ජලය පවතී. එසේම යාල මුහුදු සීමාවේ පිරිසිදු ජලය සහිත එක් ළිඳක් පවතී. මේවා කාලයෙන් වැසී විනාශ වී ගොස් ඇති අතර භාවිතයට අවශ්‍යය පිරිසිදු ජලය සැපයීම උදෙසා කඳුකරයේ සිට සකසන ලද උමං මාර්ග(ගලිසි) හරහා මෙම විල්වලට ජලය ලැබිණි. ජලය ගබඩා කිරීම උදෙසා විශේෂ ක්‍රමවේදයන් අනුගමනය කරමින් නූතන ජල පෙරුම් තාක්‍ෂණයට සමාන වන අයුරින් පොළොව හාරා ගල්, වැලි ආදී විවිධ ස්ථරයන් යොදමින් කෘතීම විල් ගොඩනගා ඇත. මෙම විල් ගොඩනැගීමේදී විශේෂිත ක්‍රමවේද රාශියක් අනුගමනය කර ඇත. ජලයේ විෂ ස්වභාවයන් ඇතිවීම පාලනය කලහැකි "මඩාර" නම් විශේෂිත පස් මිශ්‍රණයක් භාවිත කරමින් විල්වල මතුපිට වැස්ම සකස් කිරීම හා ජලය ස්වභාවිකව පවිත්‍ර කල හැකි මී, ඇටඹ, කුඹුක් වැනි ශාක ඒ වට සිටුවීම කරනු ලබයි.

වැව් අමුණු බැඳ ජලය රැස්කර ගොවිතැන් කිරීම අපට හුරුවූයේ විජයගේ පැමිණීමෙන් පසුව යැයි අපේ සමහර ඉතිහාසඥයෝ තලු මරමින් පවසති. විජයගේ රටේවත් නැති වැව් අමුණු ඔහු මේ රටේ ඉදිකරන්නේ කෙලෙසකදැයි ඔවුන්ට නොවැටහෙන්නේ යුරෝපීය හැදෑරීම් වලින් ඔවුනගේ ඇස් බැඳ දමා ඇති නිසා විය යුතුය.

කුඹුක්කන් ඔය රාවණ යුගයෙන් ශේෂ වී පැවති අවසන් අමුණයි. කුඹුක්කන් ඔය හරහා බඳින ලද අමුණක් උපයෝගී කර ගනිමින් වර්තමාන යාල, කුමන ප්‍රදේශයට අයත් රෝහණ දේශය සශ්‍රික කිරීමට කුම්භකර්ණයන්ට හැකිවිය. කුම්භකර්ණ යනු රාවණාගේ සොහොයුරකි. රාමායනයේ සඳහන් වන පරිදි එක දිගට මාස 6ක් නිදියන ඔහු මුවන් හත්සියයක්, හාල් නැලි හත්සියයක් එකවර ගිල දමන මහා යකෙකි. මෙය සංකල්ප රූපයකි. රාවණ රාජ්‍යයේ කෘෂිකර්මය හා ආහාර සම්පාදනය භාරව පැවතියේ කුම්භකර්ණයන්ටය. මුවන් හත්සියයක්, හාල් නැලි හත්සියයක් කා මාස 6ක් නිදාගැනීම යනු එක් කන්නයක වැඩකර රැස්කරගන්නා ආහාරවලින් මාස 6ක් රටේ ජනයාට කන්න දීමේ හැකියාවක් ඔහුගේ වගා ක්‍රමවේදයට පැවති බවය. වගා නොකරන මාස 6 තුළදී පරිසර පද්ධතිය ස්වභාවික ලෙස වෙනස් වීමට අවස්ථාව සැලැස්වීම ඔවුනගේ අපේක්‍ෂාව විය. කුඹුක්කන් ඔය අමුණ හරහා කුඹුරු අක්කර දහස් ගණනක් වගා කළේය. 1818දී බ්රවුන්රිග් ආණ්ඩුකාරයා මෙම අමුණ පුපුරවා හැරීමට තීරණය කළේය. එයට හේතු වූයේ හෙළ ශක්තිය මෙම වාරි තාක්‍ෂණය හරහා වර්ධනය වීමයි.

ජල උයන්, ජල මල් මෙන්ම සිසිල් කරන පද්ධති උදෙසා ජලය ගෙන යෑමට අධි පීඩනයක් සහිත ජල උමං භාවිතය බහුලව දැකගත හැකිවනුයේ ආලකමන්දාව ලෙස නම් කරන ලද සීගිරියේය. මෙය රාවණ රජුගේ පියා වූ විශ්‍රවස් මුණිගේ කාලය දක්වාම දිවෙයි.

වෑවල ප්‍රදේශයේ පැවති විශාල වැවක සිට උමං මාර්ගයෙන් සීගිරියට ජලය රැගෙන ඒම සිදුවිය. මේ සඳහා අඩි 15ක පමණ විශ්කම්භයෙන් යුත් උමගක් භාවිතා කර ඇති අතර පුනීල තාක්‍ෂණයට සමාන ක්‍රමයක් අනුගමනය කරමින් වැව මධ්‍යයේ සිට මෙම ජල උමග(ගලිස්ස) ආරම්භ වී ඇත. එහිදී සිදුවනුයේ වැවේ ජලය දැඩි පීඩනය උපයෝගී කර ගනිමින් සීගිරිය මුදුනටම ගෙන යාමයි. ජලමල්වලටද මෙම ක්‍රමයම භාවිත කර ඇති අතර එසේ රැගෙන එන ජල උමග ක්‍රමිකව කුඩා කිරීම හරහා පීඩනය වැඩි කර ජලය ඉහළට මලක් සේ විදීමට සැලැස්වීම මේ හරහා සිදුවේ.

සීගිරියේ කඳු මුදුනේ පිහිටා තිබූ ගොඩනැගිලිවල බිත්ති අතර නිරන්තරව ජලය ගලායන අයුරින් සකසා තිබුණි. ඒ සඳහා ජලය ගෙන ගියේද ඉහත ක්‍රමයටමය. නිරන්තරව ජලය ගලායාම හරහා නිවස තුළ සිසිලසක් ඇති කිරීමට එකල හෙළ නිර්මාණ ශිල්පීන් උත්සාහ දැරුවේය. සීත මාලිගා සංකල්පයේ ආරම්භය මෙයයි. වර්තමානයේදී වරින් වර සීගිරියේ ජලමල් ක්‍රියාත්මක වීම සිදුවේ. ලංකාවේ සියලු වැව් ගොඩවී හමාරය. මෙම උමං පද්ධති රොන් මඩ වලින් වැසී ගොස් ඇත. එබැවින් මෙම ජල උයන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම සිදු නොවේ. මෙයට අමතරව වැසි ජලය ගලා එනවිට එම ජලය අධි පීඩනයක් ඇතිවන අයුරින් ක්‍රියාත්මක කරවීම නැතහොත් ගමන් කරවීමට සැලැස්වීම හරහා ක්‍රියාත්මක වන ජල මල්ද එකල නිර්මාණය වී පැවතුණි.

එකල මිනිසුන් වැඩිපුර ගැවසුණු ස්ථානවල ඉදිකෙරුණු මුත්‍රා කිරීමේ ස්ථානයන්ද ජල පෙරුම් තාක්‍ෂණය භාවිත කරමින් නිර්මාණය වුනි. ඒ හරහා පස විසවීම වළක්වා ගැනීමට වැඩි අවදානයක් යොමුකර ඇති බව පෙනීයයි. විවිධ ගල්, පස් හා අඟුරු ආදී සංඝටක භාවිත කිරීම හරහා පරිසරයට මුත්‍රා ටිකක් එක් නොකර පිරිසිදු ජලය ලෙස එය එක් කිරීමට වග බලාගෙන ඇත.

වර්තමාන ජලය පිරිසිදු කිරීමේ තාක්‍ෂණය පැරදූ මුත්‍රා පෙරීමේ තාක්‍ෂණය ඉතා විශිෂ්ටය. අළුහුණු බඳුනකින් පසු බොරළු බඳුනක් ඉන්පසු වැලි පිරවූ බඳුනක් යලිත් අළුහුණු බඳුනක් ඉන්පසු වැලි පිරවූ බඳුනක් හා අවසානයේ අඟුරු පිරවූ මැටි බඳුනක් ලෙසින් මුත්‍රා කිරීමේ ගල යටින් ස්ථර කිහිපයක් පොළොව තුළ සකසා තිබුණි. අවසානයේ පොළොවට එක් වන්නේ යූරියා සාන්ද්‍රණයක් වෙනුවට පිරිසිදු ජලයයි. මෙය ලොව කිසිම රටක දැකගත නොහැක්කකි. අපේ හෙළයෝ මාතෘ භූමියට එතරම්ම ආදරය කළෝ වූහ.

සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-05-20)
•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬

Comments