◄ ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද? ►

ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවා කියන අදහස ඒත්තු ගන්වන්න සාධක දෙකක් යොදා ගන්නවා. එකක් තමයි, කියවා බැලිය හැකි සාක්ෂි. පුරාණ පතපොතේ, සෙල් ලිපි ආදියේ ඇති දේවල්. අනෙක තමයි, දකින්න පුළුවන් සාක්ෂි. ඒ කියන්නේ ලෙන් චිත‍්‍ර හා ගල් කැටයම් හා මූර්ති ආදී දේවල්. මේවා ලෝකය පුරා සෑම රටකින් ම පාහේ හමුවෙලා තිබෙනවා. වචන දහසකින් කියන්න පුළුවන් දෙයක් චිත‍්‍රයකින් පෙන්වන්න පුළුවන් කියන කියමන සනාථ වෙන්නේ මේ දේවල් දැකීමෙනුයි.

පුරාණ ලෙන් චිත‍්‍ර, ගල් කැටයම් හා මූර්තිවල දකින්න ලැබෙනවා අසාමාන්‍ය හිස් ආවරණ හා ඇඳුම්වලින් සැරසුණු මිනිස් රූප. ඒවායින් පිළිබිඹු වෙන්නේ වසර දහස් ගණනක් ඈත අතීතයේ පෘථිවියට ආ පිටසක්වළ අමුත්තන්ද?ඇමෙරිකාවේ යූටා ජනපදයේ සේබල් කැනියමෙන් පවා ලෙන් චිත‍්‍ර හමුවෙලා තියෙනවා. ඒ චිත‍්‍රවල ඉන්නවා අමුතු විධියේ ජීවීන්. ඔවුන්ගේ හිසේ ඇන්ටනා තිබෙනවා. හිස් ආවරණ (හෙල්මට්) පැලඳගෙන ඉන්නවා පේනවා. ඕස්ටේ‍්‍රලියාවේ කිම්බර්ලි වලින් හමුවන ලෙන් චිත‍්‍රවලින්ද නිරූපණය වෙන්නේ හෙල්මට් පැලඳ සිටින මිනිසුන්. අපේ මුතුන් මිත්තන්ට මේ වගේ චිත‍්‍ර අඳින්න හේතු වුණේ මොකක්ද? ඔවුන් ඇන්දේ ඔවුන්ට දකින්න ලැබුණු දෙයක් නම් ඔවුන් පිටසක්වළ අමුත්තන්ව දැකලා තිබෙනවා.

ගෝතමාලාවෙන් හමුවෙලා තිබෙනවා කෞතුක කලා භාණ්ඩ. ඒවායින් එකක ඉතා හොඳින් පැහැදිලිව පෙනෙනවා ගගනගාමී ඇඳුමකින් සැරසී සිටින පුංචි මිනිසෙක්. මුඛ ආවරණයක් ඒ තැනැත්තාගේ පපුවේ තිබෙනවා, ඇඳුමට අයත් පාලක උපාංග පපුව මැද පිහිටා තිබෙනවා. අවුරුදු 15,000 කට ඈත අතීතයේ දී මිනිසා මෙවැනි කලා නිර්මාණයක් නිර්මාණය කළේ ඇයි? කොලොම්බියාවේ පුරාණ සොහොන් ගැබ්වලින් හමුවෙලා තිබෙනවා පුංචි පුංචි නිර්මාණ. මේවා නූතන ගුවන් යානාවලට සමානයි. සමබරව සවිකළ පියාපත්, ඉන්ධන ටැංකි හා බඳ, පිටුපස සමබරව නිර්මාණය කෙරුණු පසුපස තටුව මේවායේ දකින්න ලැබෙනවා. මේ නිර්මාණ හදලා තිබෙන්නේ නූතන ගුවන් යානා තාක්ෂණය හොඳින් අධ්‍යයනය කිරීමෙන් කියලා බැලූ බැල්මට පෙනෙනවා. අපේ මුතුන්මිත්තන් මේ නිර්මාණ කළේ අහසේ පියාසර කරමින් තිබෙන යානා දැකීමෙන්ද?

වඩාත් පුදුමසහගත අපූරු නිර්මාණය දකින්න ලැබෙන්නේ මෙක්සිකෝවෙනුයි. ඒ මායාවරුන්ගේ පැලෙන්කී පුරාවිද්‍යාත්මක භූමියෙන්. අද මෙම ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක්. වසර ගණනාවක් අමතක වෙලා තිබුණු මේ දේවාලය සොයා ගත්තේ ස්පාඤ්ඤ ගවේෂකයන් විසිනුයි. මෙහි දකින්න ලැබෙනවා ශත වර්ෂ ගණනාවක් පැරැණි පැලෙන්කී මහා පිරමීඩ. මේ පිරමීඩ පුරාණ දේවාල හා සොහොන් ගැබ් කියලයි සැලකෙන්නේ. එක් පුරාණ පිරමීඩයක් යට සොහොන් ගැබක් සැඟවෙලා තිබෙනවා. මේ සොහොන් ගැබේ තිබෙනවා ගලින් නිර්මාණය කළ කැටයම් හා චිත‍්‍රවලින් අලංකාර කළ මිනී පෙට්ටියක්. මෙහි මිහිදන් කර ඇත්තේ ‘පැකාල් ද ගේ‍්‍රට්’ නම් මහා රජ්ජුරුවෝයි.

පැකාල් රජු තමයි, හත්වැනි සියවසේ පාලකයා ලෙස කටයුතු කළේ. මහා පැකාල් රජ්ජුරුවෝ මියගියේ පැලෙන්කී වලදීයි. ඔහුව මිහිදන් කරලා තිබෙන්නේ මේ ස්ථානයේදීයි. ඔහු එක්තරා විධියක අබිරහස් මායාවරුන්ගේ නායකයෙකු ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා. ඔහු අඩි 8 ක් උස යෝධයෙක්. ඔහුගේ සොහොන් ගැබ වට කරලයි පැරැන්නෝ මහා පිරමීඩය නිර්මාණය කළේ. මායාවරුන් කිසියම් ආකාරයක දෙවියෙකු හැටියට සලකලා ඔහුට වැඳුම් පිදුම් කළා. මායාවරුන්ගේ චිත‍්‍ර හා කැටයම්වලින් ගලින් නිර්මාණය කළ සොහොන් පෙට්ටිය හැඩ ගැන්වී තිබෙනවා. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන අය නම් කියන්නේ එයින් නිරූපණය කෙරන්නේ ගගන කැප්සියුලයක ගුළිවෙලා සිටින ගගනගාමියෙක් කියලයි. කැප්සියුලය එහෙමත් නැතිනම් ගගන යානාව පදවන උපකරණ, ඔක්සිජන් ටැංකි, යානාවේ පසුපස ගින්දර පිටවන අයුරු ආදී සෑම දෙයක් ම මේ චිත‍්‍රයේ දකින්න ලැබෙනවා. චිත‍්‍රයට අනුව පැකාල් එක් අතකින් යානාවේ ලීවර එහා මෙහා කරමින් එය පදවනවා. අනෙක් අතින් යතුරු පුවරුවක් කි‍්‍රයා කරවනවා. ඔහුගේ පාද කිසියම් පැඩලයකට සම්බන්ධ වෙලා තිබෙනවා. මේ කරුණු කාරණා නිසා වොන්ඩැනිකන් වැනි සමහරු කියන්නේ පැකාල් පිටසක්වළ ජීවියෙක් කියලයි. වර්තමානයේ අපේ ගගනගාමීන් ගගන ඇඳුමින් සැරසිලා රොකට්ටුවක හෝ ගගන කැප්සියුලයක නැගී ගමන් ගන්නා ආකාරය මේ චිත‍්‍රය හා සසඳා බලද්දී සමානකම් හොඳින් පෙනෙන්න තිබෙනවා. පැකාල් නිකම්ම නිකම් මායා රජ කෙනෙක්ද? නැතිනම් ඔහු දුර ඈත දේශයකින් පැමිණි විශේෂ අමුත්තෙක්ද? එහෙමත් නැතිනම් පිටසක්වළින් ආ අමුත්තෙක්ද? මේ ප‍්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තවමත් ඉදිරිපත් වෙලා නැහැ.

Source : http://www.malkakulu.com/2011/12/blog-post_22.html

Comments